1933 වැල්ලවත්ත රෙ`දි මෝල් වැඩ වර්ජනය දක්වා ලංකාවේ කම්කරු ව්‍යාපාරය



ධනවාදී ආර්ථීක ක්‍රමයක් කි‍ර්යාත්මක වීමේ දී එහි අනිවාර්ය අංග ලක්ෂණයක් නම්, සිය ශ්‍රමය විකුණා ජීවත් වන කම්කරු පංතියක් කි‍ර්යාත්මක වීමයි. මෙසේ ලංකාව තුළ තම ශ්‍රමය විකුණා ජීවත් වන්නන් පිරිසක් නිර්මාණය වන්නේ, ඉංග්‍රීසි පාලන සමයේ දීය.1815 දී ඉංග්‍රීසීන් උඩරට යටත්කර ගැනීමත් සමඟ සමස්ත ලංකාවේ බලය ඉංග්‍රීසි අධිරාජ්‍යයට යටත් විය. සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය හා අනෙකුත් කර්මාන්ත විනාශ වීමට ඉඩහැරි බ්‍රිතාන්‍යයන් වැව් අමුණු ප්‍රතිසංස්කරණය වැනි ආර්ථික වශයෙන් ලාභදායි නොවන කටයුතු වලට වැඩි අවධානයක් නොදැක්වීය.19 වන සියවස වන විට ලංකාවේ ආර්ථිකය හුදෙක්ම තේ, පොල්, රබර් වැනි අපනයන බෝග මත තීරණය විය. ලංකාවේ සිටි බ්‍රිතාන්‍යයන් තම ආර්ථික කටයුතු වලට අවශ්‍යය උපකරණ හා අමු ද්‍රව්‍ය තීරු බදු රහිතවම මෙරටට ගෙන්වා ගැනීම නිසා මෙරට කර්මාන්තශාලා ඇති වීම ද අඩාල විය. වතු වගාව හරහා බ්‍රිතාන්‍යයන් තම ආදායම ඉහළ නංවා ගත් අතර වතු වල වැඩ කිරීමට ඉතා අඩු මිලට දෙස් විදෙස් සේවකයන් බඳවාගන්නට විය. මේ හරහා සිංහල, දෙමළ හා මළයාලම් කම්කරුවන්ගේ සේවය ලබා ගැනීම සිදුවිය. ප්‍රථම වරට ධනවාදී ක්‍රමයක් තුළ කම්කරු ශ්‍රමය සූරා කෑම ලංකාවේ දී මෙලෙස ආරම්භ විය. එසේම නාගරීකරණය වර්ධනය වනවාත් සමඟ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් වතු වගාව හා සම්බන්ධ කර්මාන්තශාලා ආරම්භ කළහ. ඒවායේ වැඩ කිරීමට නාගරික කම්කරුවන් ද බිහි විය. ඔවුන්ගේ ද ශ්‍රමය ඉතා සූක්ෂම ලෙස සූරා කන්නට විය. මේ සමඟම ලංකාවේ වතු වගාව ආශ්‍රිතව හා නාගරිකව කම්කරු පන්ති දෙකක් නිර්මාණය විය.

19 වන සියවස අවසන් භාගය වන විට බෞද්ධ ඇතුළු ක්‍රිස්තියානිකරණයට විරුද්ධ අනෙකුත් ආගම් පුනර්ජීවන ව්‍යාපාර ආරම්භ කර තිබූ අතර කම්කරු ව්‍යාපාරද ආරම්භ විය. 1865 කම්කරු අඥා පනත යටතේ වැඩ වර්ජනවල යෙදී සාපරාධී වරදක් කිරීම හරහා කම්කරුවා පීඩාවට පත් කළේය. මෙම තත්ත්වය නිසා රාජ්‍ය බලය යොදවා කම්කරුවාගේ ශ්‍රමය සූරා කන බව මනාව පසක් වන්නට විය. මෙහිදී බෞද්ධ පරම විඥානාර්ථ සංවිධානයේ ගුරුවරයෙක් වූ එA.ඊ බුල්ජන්ස්ගේ මූලිකත්වනේ ලංකාවේ ප්‍රථම වෘත්තීය සංගමය 1893 දී ආරම්භ කළහ. එය "ලංකා මුද්‍රණ කරුවන්ගේ සංගමය" (Ceylon Printers Union) විය. ඉන් පසු,

1896 - රෙදි අපුල්ලන්නන්ගේ සංගමයේ වැඩ වර්ජනය.

1906 - කරත්ත කරුවන්ගේ සංගමයේ වැඩ වර්ජනය.

1912 - දුම්රිය සේවකයන්ගේ සංගමයේ වැඩ වර්ජනය.

1920 - වරාය හා දුම්රිය සේවකයන්ගේ සංගමයේ වැඩ වර්ජනය.

වැනි වැඩ වර්ජනය මෙරට තුළ පැවැත්විනි. මෙම මුල්කාලීන වැඩ වර්ජනය හරහා සැලකිය යුතු ජයග්‍රහණ කම්කරුවාට අත් නොවීය. එහෙත් මෙම සටන් ජයග්‍රහණ වලින් මුක්ත සටන් ලෙසට සඳහන් කිරීම සාධාරණ නොවේ. මෙම සටන් අනාගත වෘත්තීය සමිති කටයුතු වලට මූලික අඩිතාලම විය.

20 සියවස වන විට කම්කරුවන් ස්වාධීනව ඉදිරියට එන්නට විය. මධ්‍යම පංතිකයන් අතරින් රැඩිකල් නායකයන් ඉදිරියට විත් පෙරට වඩා බලවත් කමිකරු හා වෘත්තීය සමිති කටයුතු මෙහෙය වන්නට විය. මෙම තත්ත්වයන්ට හේතු වූ දේශීය හා විදේශීය හේතු කිහිපයක් විය.

1914 - 1917 පළමු ලෝක සංග්‍රාමය නිසා ලෝකය පුරා රටවල ආර්ථීකය බිඳවැටුණු අතර ලංකාවේ ද මෙසේ ආර්ථීක තත්ත්වය බිඳවැටී කම්කරුවන්ගේ පීඩනය ඉහළ යාම.

1917 රුසියන් විප්ලවයෙන් කම්කරුවන් ජය ගැනීම.

1919 ඉන්දියානු ජාතික නිදහස් සටන් ව්‍යාපාරයේ ආභාශයෙන් මෙරට ලංකා ජාතික සංගමය පිහිටුවීම.

එංගලන්තයේ කම්කරු පක්ෂයේ නැගීම.

වැනි හේතුන් නිසා මෙරට කම්කරුවන් සංවිධානාත්මක හා විධිමත් ලෙස තම වෘත්තීය සමිති කටයුතු ඇරඹීය.

මෙරට කම්කරු ව්‍යාපාරයේ වැදගත් අවස්ථාවක් ලෙස ඒ.ඊ.ගුණසිංහ කම්කරු ව්‍යාපාරය වෙත සම්බන්ධ වීම පෙන්වා දිය හැකිය. ඔහු සතු වු කම්කරු බලය සුවිශාල විය. එය 1930 වන විට නාගරික කම්කරුවන් 30,000 පමණ ඔහුගේ නායකත්වය ගත් කම්කරු සංගමයේ සාමාජිකත්වය දැරීම හරහා පෙන්වා දිය හැකිය. ගුණසිංහ විසින් සාර්ථක මෙන්ම ශක්තිමත් වෘත්තීය සමිති කටයුතු රාශියක් මෙහෙය වන්නට විය. ඒවා අතර,

1922 - දුම්රිය සේවක වර්ජනය.

1926 - වැල්ලවත්ත රෙඳී මෝලේ වර්ජනය.

1927 - වරාය වර්ජනය.

1927 - ටැක්සි රියදුරු වර්ජනය

1929 - ට්‍රෑම් කාර් වර්ජනය.

ප්‍රධාන වේ.

නාගරික කම්කරුවාට වඩා අන්ත පීඩිත දිවියක් මෙරට වතු කම්කරුවාට උරුම වී තිබිණි. එසේම නාගරික කම්කරුවා ලබන වැටුපට වඩා අඩු සොච්චම් වැටුපක් වතු කම්කරුවාට ලැබිණි. මෙරට වතු කම්කරුවන් සිංහල හා දකුණු ඉන්දීය කම්කරුවන් ගෙන් සමන්විත විය. සිංහල නාගරික කම්කරුවාට වඩා දකුණු ඉන්දීය වතු කම්කරුවා කටුක දිවියක් ගෙවීය. ඊට හේතූන් ලෙස,

වතු කංකානිවරුන්ට බැඳී සිටීම

නොදියුණු බව

සමාජ ක්‍රමය

උගත් කමින් තොර වීම

දිළිඳූ බව

පෙන්වා දීමට හැක. මෙවන් අ`ඩ වහල් තත්ත්වයක් පෙන්නුම් කළ දකුණු ඉන්දීය වතු කම්කරුවන් ප්‍රමාණයෙන් විශාල වුවත් ඔවුන් වෘත්තීය සමිති පිහිටුවීමට තරම් සවිඥානික නොවීය. දකුණු ඉන්දීය වතු කම්කරුවා පිළිබඳ මුලින්ම සාකච්චාවක් ඇති කළේ 1923 දී බිහි වූ කැළණි වැලි ඉන්දීය සංගමයයි. එහෙත් මෙම සංගමය තුළ ද දකුණු ඉන්දීය වතු කම්කරුවන් නොවීය. දකුණු ඉන්දීය වතු කම්කරුවා වෙනුවෙන්ම වෘත්තීය සමිතියක් ආරම්භ වන්නේ 1931 තරම් පසුකාලීනවයි. එය, නඩේෂර් අයියර් විසින් පිහිට වූ "ඉන්දියානු වතු කම්කරු සංගමය" යි.

ලංකාවේ කම්කරු ව්‍යාපාරය තුළ දැකගත හැකි ප්‍රධාන ලක්ෂණයක් නම්,මෙරට නාගරික හා වතු කම්කරුවන් අතර පැවති සබඳතාව අල්ප වීමයි. මෙම තත්ත්වය වෙනස් වන්නේ,කොල්වින් ප්‍රමුඛ ල.ස.ස.ප විසින් මෙරටට වෘත්තීය සමිති කටයුතු ආරම්භ කිරීමත් සමඟිනි. ඔවුන් මෙම කම්කරුවන් එක් කොට සිය අයිතීන් වෙනුවෙන් එක්ව සටන් කරන පිරිසක් ලෙස පෙළ ගැසීවීම සිඳූකරයි.

1930 වන තෙක් ලංකාවේ කම්කරු ව්‍යාපාරයන්ට හෝ වෘත්තීය සමිති ව්‍යාපාරයන්ට මාක්ස්වාදී අදහස් ක්‍රමවත් ලෙස ගලා විත් තිබුනේ නැත.ලංකාවේ සිටි නව ධනේෂ්වරවාදීන් කම්කරු සටන් වලට නායකත්වය ලබා දුන්න ද ඔවුන්ට අවශ්‍යය වූයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කේවල් කිරීමක් පමණි. ඔවුන් තම අයිතිවාසිකම් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ලබා ගැනීමට කේවල් කළ අතර ඒ සඳහා දියත් කළ ව්‍යාපාරයන්ට සහය ලබා දුන්නා මිස ලංකාව සමාජවාදී රාජ්‍යයක් කිරීමට හෝ කම්කරුවාට විමුක්තිය ලබාදීම ඔවුන්ගේ පරමාර්ථ නොවීය.

ලාංකීය වෘත්තීය සමිති ව්‍යාපාරය 1929 /1930 ආර්ථික පරිහාණිය හා 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය හරහා ලබා දුන් සර්වජන ඡන්ද බලය හරහා තීරණාත්මක ලෙස බිඳවැටිණි. එනම්,ලෝක ආර්ථික අර්බුධය නිසා කර්මාන්තශාලා වැසී යාම හා කම්කරුවන් කප්පාදුව සිඳූවීමයි. එසේම මීට පෙර කම්කරුවන්ට නායකත්වය දෙමින් කම්කරුවන් සංවිධානය කරමින් සිටි වෘත්තීය සමිති නායකයන් 1931 සර්ව ජන ඡන්ද බලය ලැබීමත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මඟක් තෝරා ගන්නට විය. මෙම නායකයන් කම්කරු ව්‍යාපාර හා වෘත්තීය සමිති වලින් ඈත් වූවා පමණක් නොව පාලන අධිකාරියේ අදහස් වලට එකඟ වී කම්කරු සටන් පාවා දෙන්නන් බවට ද පත් විය.

උදා 1933 වැල්ලවත්තේ රෙදි මෝල් වර්ජනය අවස්ථාවේදී වර්ජනයේ නිරත වී සිටි කම්කරුවන් සිය නායකයා වූ ඒ. ඊ. ගුණසිංහගෙන් සහාය පැතූ විට ඔහු පාලනාධිකාරයේ අදහස් හා යමින් වර්ජනය නවතා නැවත රාජකාරියට වාර්තා කරන ලෙස දැන්වීම.

මේ ආකාරයට එකළ සිටි කම්කරු නායකයන් කම්කරු සටන ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් හකුළා ගන්නට විය. මේ තත්ත්වය මත කම්කරු ව්‍යාපාරය බිඳ වැටෙන්නට විය.

1931 පමණ වන විට මෙරට කම්කරු ව්‍යාපාරයට නව ජීවයක් ලැබේ. ඒ මෙරට බෞද්ධ පාසල් වලින් අධ්‍යාපනය ලැබ පසුව උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තය වැනි යුරෝපා රට වලට ගොස් න්‍යායාත්මක දැනුම සේම සමකාලීන ලෝකයේ දේශපාලන දැනුමද රැගෙන ආ උගත්, බුද්ධිමත් තරුණ නායකයන් පිරිසක් මෙරටට පැමිණීමත් සමඟ යි.මාක්ස්වාදී දැනුම සහිතව කම්කරු සටන් මෙහෙය වීම ආරම්භ කළ මෙම නායකයන් අතර ආචාර්ය එන්.එම්. පෙරේරා,පිලිප් ගුණවර්ධන හා රොබට් ගුණවර්ධන දෙසොහොයුරන්,ලෙස්ලි ගුණවර්ධන,දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මෙන්ම ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ද ප්‍රධාන විය.

1933 වැල්ලවත්ත රෙදි මෝලේ වර්ජනය ලාංකීය වාමාංශික ව්‍යාපාරයේ සුවිශේෂ අවස්ථාවක් ලෙස පෙන්වාදීමට හැකි ය. ජපන් රෙදි මෙරටට වැඩි වශයෙන් ලැබීම නිසා මෙරට රෙදි පිළිවලින් ලද ආදායම අඩු වන්නට විය. මෙම නිසා 1400කට අධික වූ කම්කරුවන්ගේ වැටුප අඩු කිරීමට පාලන අධිකාරිය කටයුතු කළහ. ඊට විරෝධය පෑ මෙම රෙදි මෝලේ කම්කරුවන් එවකට කම්කරුවන්ගේ අසහාය නායකයා වූ ඒ.ඊ.ගුණසිංහයන්ගේ කම්කරු සංගමයේ සහය බලාපුරුත්තු විය. ඔවුන් මීට පෙර එක්ව 1923, 1926, 1929 දී සි`දුකල වැඩවර්ජන මඟින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත් පිරිසක් ද විය. එහෙත් 1933 දී සිදු කළ වැඩ වර්ජනයේදී ගුණසිංහ කම්කරු සටන පාවා දී පාලන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටින්නට විය.මෙම නිසා කම්කරුවන්ට ගුණසිංහ කෙරේ තව දුරටත් විශ්වාසය තබන්නට තරම් හේතු ඉතිරි වී නොතිබිණි. එබැවින් වෙනත් සටන්කාමී නායකයෙක් තම සටන් ව්‍යාපාරයට උවමනා බව වටහා ගත් කම්කරුවන් රාජ්‍ය නීතීඥයෙකු වූ එච්. ශ්‍රී. නිශ්ශංක මහතාගේ සහය පැතීය. මෙකී තත්ත්වය මනාලෙස අවබෝධ කරගත් මෙතුමා මෙම සටනට නායකත්වය දීමට ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාට ආරාධනා කළේය. මාක්ස්වාදය මැනවින් හඳූනාගෙන සිටි කොල්වින් "වැල්ලවත්තේ කම්කරු සංගමය" පිහිටුවා ගනිමින් සටනට අවතීරණ විය. තරුණ සංගම් ක්‍රියාකාරීන්ගේද නොමඳ සහාය ඇති ව දින අටක් (08) නොකඩවා කල වැල්ලවත්ත රෙදි මෝලේ වර්ජනයේ ජය කම්කරුවන්ට ලැබිණි. මේ වර්ජනය සමඟ ලංකාවේ මාක්ස්වාදී බලපෑම සහිතව වර්ජන කිරීම ඇරඹුණු අතර එහි මූලිකයා කොල්වින් විය. වර්ජනය ජයග්‍රහණයෙන් අවසන් කළා සේම 1933 වැල්ලවත්ත රෙදි මෝලේ වර්ජන නඩුව ද ජයගත් කොල්වින් කප්පාදු කල වැටුප් ද නැවත ලබා ගැනීමට සමත් විය.

මේ වර්ජනය හරහා වාමාංශික අදහස් ප්‍රයෝගික ලෙස මේ භූමියේ කිර්යාත්මක කිරීමට හැකි බව ලංකිකයාට වැටහිනි.මේ හරහා ලැබූ අත්දැකීම් සමඟ වාමාංශික නායකයන් තවතවත් වාමාංශික කටයුතු හා එක් වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස, 1935 දී ල.ස.ස.ප නිර්මාණය විය. එතැන් පටන් ඒ.ඊ. ගුණසිංහයන්ගෙන් බිඳී ගිය කම්කරු බලය ල.ස.ස.ප වටා ඒකරාශී වන්නට විය.

 

Malcome Dep Weerasinghe B.A.History (Sp) USJ

 

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

උපුටා ගැනීම් සියල්ල කතෘගේ අනුදැනුම මත පමණි.


Post a Comment

0 Comments