ලංකා සමසමාජ පක්ෂය බිහිවීමට බලපෑ පුරෝගාමී කටයුතු



ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය බිහිවීම අහම්බයකින් සිදු වූවක් නොවේ ජාතිකත්වය පිළිඹිබු නොවූ ජාතික සංගමයක් හා කම්කරුවා පිළිඹිබු නොවූ කම්කරු ව්‍යාපාරයක් පැවති ලංකාවේ ඉංගීර්සිිගැති මධ්‍යම පංතිය හැර අනෙකුත් කිසිඳූ අයෙකුට ලංකාවේ සමාජය,ආර්ථීකය හා දේශපාලනය ප්‍රධාන කොටගත් කිසිඳූ අංශයක් තුළ නියෝජනයක් හෝ පිළිගැනීමක් නොවීය.1931 දී මෙරට නායකයන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ දී සර්වජන ඡන්ද බලය හිමි වීම නිසා මොවුන්ගේ ඒකාධිපතීත්වය යම් ආකාරයකට අඩු විය.මේ සඳහා වාමාංශික නායකයන්ගේ කටයුතු ප්‍රධාන විය. මෙසේ මෙම වාමාංශික නායකයන් එක්ව ජනතාවාදී කාර්යයන් වල නිරත වන්නට වූ අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ, වාමාංශික නායකයන් එක්වී ලංකා සමසමාජ පක්ෂය බිහි කිරීමයි. මෙසේ ල.ස.ස.ප බිහිකිරීමට පුරෝගාමී කටයුතු රාශියක් විය. එනම්,

  1. ලන්ඩනයේ ලංකා ශිෂ්‍ය එකමුතුව
  2. තරුණ සංගම් ව්‍යාපාරය
  3. වැල්ලවත්ත රෙ`දි මෝලේ වර්ජනය
  4. සූරිය මල්  ව්‍යාපාරය
  5. මැලේරියා වසංගතය
  6. නිදහස වෙනුවෙන් ව්‍යාපාරයක් නොවීම
  7. කම්කරුවා වෙනුවෙන් ව්‍යාපාරයක් නොවීම
  8. ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ බලපෑම
  9. වාමාංශික අදහස් ප්‍රචලිත වීම
  10. මාක්ස්වාදයේ බලපෑම

පෙන්වා දීමට හැකිය.එසේම ල.ස.ස.ප බිහිකිරීමේ පුරෝගාමී කටයුතු වල නිරිත වූයේ යුරෝපයේ සිට මෙරටට උසස් අධ්‍යාපනය ලබා පැමිණි තරුණ සමාජවාදීන් විසිනි.මොවුන් සෑම වාමාංශික කටයුත්තකදීම එකට එක්ව පෙරමුණ ගන්නට විය.මෙසේ ල.ස.ස.ප බිහිකිරීමේ පුරෝගාමී කටයුතු වල නිරිත වූ තරුණ උගත් නායකයන් අතර,

  1. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා
  2. ආචාර්ය එන්. එම්. පෙරේරා
  3. දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ
  4. පිලිප් ගුණවර්ධන
  5. රොබට් ගුණවර්ධන
  6. ලෙස්ලි ගුණවර්ධන

ප්‍රධාන විය.මෙම නායකයන් වටා ඒකරාශී වූ සමාජවාදය හා ලැදි,අධිරාජ්‍යවාදයට විරුද්ධ,නිදහස් ලංකාවක් වෙනුවෙන් කි‍ර්යාකිරීමට අවශ්‍ය පිරිස් ල.ස.ස.ප බිහිකිරීමේ පුරෝගාමී කටයුතු වල ඉදිරියෙන්ම සිටින්නට විය.

ලන්ඩනයේ ලංකා ශිෂ්‍ය එකමුතුව.

ලංකාවේ ඉංගීර්සීන් යටතේ ඇති වූ ධනවාදී ආර්ථීකය මඟින් කෘශිකාර්මික නිෂ්පාදනයන් හා වතු බෝග වගාවන් වලින් ලද ආදායමින් නව සුළු ධනපති පංතියක් මෙරට බිහිවිය.ඔවුන් විසින් මෙතෙක් මෙරට ඉඩම් හිමි ධනපංතියේ දරුවන්ට සීමා වී තිබුණු ඉහළ ගණයේ අධ්‍යාපනයට සමාන අධ්‍යාපනයක් තම දරුවන්ටද ලබා දීමට උත්සුක විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අළුත බිහිවූ සුළු ධනපති පංතිය විසින් ඔවුන්ගේ දරුවන් ද යුරෝපයේ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබා දීමට කටයුතු කර ඇත. 1920 ඇරඹෙන දශකය තුළ මෙම තත්ත්වය වඩා වේගයෙන් වර්ධනය වන අතර ලන්ඩනය ඇතුළු යුරෝපා රටවල් ගණනාවක මෙසේ අළුත බිහිවූ සුළු ධනපති පංතියේ දරුවන් අධ්‍යාපනය ලැබීය.මෙරට සිටි ධනවත් ඉඩම් හිමි පාංතිකයන්ගේ දරුවන් එවකට ලංකාවේ ප්‍රචලිත කි‍ර්ස්තියානි හෝ මිෂනාරී පාසල් වලින් අධ්‍යාපනය ලැබූවන් විය.එහෙත් අළුත බිහිවූ සුළු ධනපති පංතියේ දරුවන් අධ්‍යාපනය ලැබුවේ, ප්‍රාදේශීය හෝ බෞද්ධ පරමවිඥානාර්ථ පාසල් වලිනි.මෙම නිසා මොවුන්ට ලංකාවේ ස්වදේශීයත්වය ,ස්වදේශීය භාෂා හා බෞද්ධාගම පිළිබඳව වැඩි අවබෝධයක් හා සමීප සම්බන්ධයක් තිඛෙන්නට ඇත.

1920 දශකයේ ලන්ඩනය තුළ සිටි උගත් තරුණ ලාංකිකයන්ගේ එකතුවෙන් සංගමයක් පිහිටුවා ගත්හ.එය ලන්ඩන්හි ලංකා ශිෂ්‍ය සංගමය නම් විය.සමාජවාදී අදහස් වලින් හෙඹි මෙම තරුණයන් මෙහි විද්වත් දේශපාලන සාකච්ඡා පවත්වන්නට විය.එසේම ජාතික සංගමයේ හා කම්කරු සංගමයේ නිද්‍රාශීලිත්වය විවේචනය කරන්නට විය.මොවුන් මෙහිදී සාකචිඡා කළ ප්‍රධාන මාතෘකාවක් වූයේ,ලංකාව තුළ සමාජවාදී පක්ෂයක් බිහිකිරීමේ පුළුවන්කම සොයාබැලීමයි.මෙම සාකචිඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ලන්ඩන්හි ලංකා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් ලංකාවට පැමිණ සමාජවාදී දේශපාලනය තුළ නිරත වී පසුව ල.ස.ස.ප බිහිකිරීමට දායක විය.

තරුණ සංගම් ව්‍යාපාරය.

1927 දී ලංකාවට පැමිණි ඩොනමෝර් කොමිසම විසින් මෙරටට ලැබිය යුතු ස්වයංපාලන අයිතියේ ප්‍රමාණය, ඡන්ද බලය ව්‍යාප්ත කිරීම යනාදිය පිළිබඳ අදහස් ලබා ගැනිණි.එවකට පැවති ලංකා ජාතික සංගමය හා ලංකා කම්කරු පක්ෂය කෙරේ විශ්වාසයක් නොවුනු පිරිස් අලූත් ව්‍යවස්ථාවට විරෝධය පෑම සඳහා සංවිධානගත වීය.ඒ හරහා මෙම සංගමය ඇරඹුණි.එලෙස 1931 දී සංවිධානාත්මකව ආරම්භ වූ මෙම සමස්ත ලංකා තරුණ සංගම් ව්‍යාපාරයේ සභාපති ඊලියන් පෙරේරා විය. තරුණ නීතීඥයෙක් මෙන්ම සමාජවාදී අදහස් වලින් හෙබි තරුණයෙක් වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා 1932 දී තරුණ සංගම් ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබාගනී.එම වසරේදීම දකුණු කොළඹ තරුණ සංගමයේ සභාපතිවරයා බවට පත් වන කොල්වින් තරුණ සංගම් ව්‍යාපාරයට ක්‍රමයෙන් මාක්ස්වාදී මතවාදයන් හඳූන්වා දෙන්නට විය.තරුණ සංගම් ව්‍යාපාරය තුළින් මෙරට සිටි වාමාංශික අදහස් වලින් හෙඹි තරුණයන් සංවිධානය කිරීමට සමත් විය.මෙම නිසා වාමාංශික කටයුතු සාර්ථකවන්නට විය.එසේම සාමාන්‍ය ජනතාවද වාමාංශිකයන් හා සම්බන්ද වන්නට විය.මෙම තත්ත්වය මත 1935 දී ල.ස.ස.ප බිහිකිරීමට දායක වූ පුරෝගාමී නායකයන් තරුණ සංගම් ව්‍යාපාරය හරහා සංවිධානය වූවන් විය.

වැල්ලවත්ත රෙ`දි මෝලේ වර්ජනය.

1933 වැල්ලවත්ත රෙදි මෝලේ වර්ජනය ලංකාවේ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩ ඉමක් ලෙස පෙන්වා දීමට පුළුවන.ජපන් රෙදි මෙරටට වැඩි වශයෙන් ලැබීම නිසා මෙරට රෙදි පිළිවලින් ලද ආදායම අඩු වන්නට විය. මෙම නිසා 1400කට අධික වූ කම්කරුවන්ගේ වැටුප අඩු කිරීමට පාලන අධිකාරිය කටයුතු කළහ. මෙම රෙදි මෝලේ කම්කරුවන් එවකට කම්කරුවන්ගේ අසහාය නායකයා වූ ඒ.ඊ. ගුණසිංහයන්ගේ කම්කරු සංගමයේ සාමාජිකයන් විය.එහෙත් 1933 දී සිදු කළ වැඩ වර්ජනයේදී ගුණසිංහ කම්කරු සටන පාවා දුන් අතර කම්කරුවන්ට ගුණසිංහ කෙරේ තව දුරටත් විශ්වාසය තබන්නට තරම් හේතු ඉතිරි වී නොතිබිණි.එබැවින් වෙනත් සටන්කාමී නායකයෙක් තම සටන් ව්‍යාපාරයට උවමනා බව වටහා ගත් කම්කරුවන් නායකත්වයට ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාට ආරාධනා කළේය.ඒ ස`දහා තරුණ සංගම් ක්‍රියාකාරීන් වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන හා ලෙස්ලි ගුණවර්ධන යන වාමාංශක නායකයන්ගේ නොමඳ සහාය ඇති ව දින අටක් (08) නොකඩවා කල වැල්ලවත්ත රෙදි මෝලේ වර්ජනයේ ජය කම්කරුවන්ට ලැබිණි.මේ හරහා වාමාංශික අදහස් ප්‍රයෝගික ලෝකය තුළ කි‍ර්යාත්මක කිරීමට හැකි බව ලංකිකයාට වැටහිනි. මේ අනුව ල.ස.ස.ප බිහිකිරීමට දායක වූ පුරෝගාමී අවස්ථාවක් ලෙස 1933 වැල්ලවත්ත රෙදි මෝලේ වර්ජනය පෙන්වා දීමට හැකිය. තවද 1935 දී ල.ස.ස.ප නිර්මාණය වූ පසු ඒ.ඊ. ගුණසිංහයන්ගෙනි බිඳී ගිය කම්කරු බලය ල.ස.ස.ප වටා ඒකරාශී වන්නට විය.

1933 වැල්ලවත්ත රෙදි මෝලේ වර්ජනය පිළිබද දීර්ඝ ලිපියක් මෙතනින්

සූරියමල් ව්‍යාපාරය.

සූරියමල් ව්‍යාපාරය ලාංකීය සමාජවාදී තරුණයන්ගේ ජනහිත කාමීත්වය හා අධිාජ්‍යය විරෝධය ලොවට පෙන්නුම් කළ අවස්ථාව ලෙස පෙන්වා දිය හැකිය.අධිරාජ්‍යය විරෝධී හැඟීම් සහිතව ආරම්භ කළ මෙම ව්‍යාපාරය මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය වර්ධනය වීමට ප්‍රබල හේතු කාරකයක් විය.1 වන ලෝක සංග්‍රාමයේ අවසානය සිහි කරමින් නොවැම්බර් 11 වන දිනට බිර්තාන්‍ය අධිරාජ්‍යය විසින් නම් කළ පොපි මල් දිනය සැමරීමට එරෙහිව රැඩිකල් තරුණ සංගම් හරහා මෙම සූරියමල් ව්‍යාපාරය උපත ලැබීය.1931 දී සේවා මුක්ත භට සංගමය හා තරුණ සංගම් විසින් තව තවත් වර්ධනය කළ මෙම ව්‍යාපාරය 1933 දී මැද කොළඹ තරුණ සංගමයේ නායකත්වය යටතේ ව්‍යාප්ත විය.පොපි මල ලද ආදායමට වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට සූරියමල් ව්‍යාපාරය සමත් විය.මේ වන විට මෙම ව්‍යාපාරය සමස්ථයක් ලෙසම තරුණ සමාජවාදීන් වෙතම නතු වී තිබුණු අතර කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය වූ ඩොරීන් වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් තව දුරටත් ශක්තිමත් විය.මීට අමතරව ආචාර්ය එන්.එම්.පෙරේරා, දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන හා ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා වැනි ප්‍රබල තරුණ සමාජවාදීන් මෙම ව්‍යාපාරයට නායකත්වය දෙන්නට විය.ජනතාව මෙම ව්‍යාපාරය සමඟ ඉතාම සමීප සම්බන්ධයක් පවත්වාගැනීම නිසා මේ සමාජවාදී අදහස් දැරු නායකයන්ට වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳ හා මෙරට පීඩිත පංතිය පිළිබඳව නිසි අවබෝධයක් මෙම ව්‍යාපාරය හරහා ලැබුනි.එසේම ඔවුන් වෘත්තීය සමිති ව්‍යාපාර වලට නායකත්වය සැපයීම ද මේ හරහා ආරම්භ විය. මෙම සූරිය මල් ව්‍යාපාරය හුදු වාමාංශික ව්‍යාපාරයක් නොවී ය. ඒ මඟින් මෙරට වැසියා සතු වූ අධිරාජ්‍යය වීරෝධය පිළිබිඹු විය.මෙම නිසා 1935 ල.ස.ස.ප බිහිකිරීම සඳහා මුල් වූ නායකයන් බහුතරයක් සූරියමල් ව්‍යාපාරය තුළින් පන්නරය ලැබූ අධිරාජ්‍ය විරෝධියෝ විය.

සූරියමල් ව්‍යාපාරය පිළිබද දීර්ඝ ලිපියක් මෙතනින්

මැලේරියා වසංගතය.

1929 ලෝක ආර්ථීක අර්බුධය ඇති වී එය ලංකාවට ද දැනෙමින් පැවති සමයක පිට පිට දැඩි නියඟ දෙකක් සමඟ මෙම වසංගතය පැතිරෙන්නට විය.1935 වන විට ලංකවේ මැලේරියා වසංගතය දරුණු ලෙස පැතිරී ගොස් තිබිණි.ඇතැම් වාර්තා වලට එවකට ලංකාවෙන් 25% මැලේරියාව වැළඳී තිබූ සේම මරණ සංඛ්‍යාව ද අති විශාල විය. මේ තත්ත්වය දුරු කිරීමට වාමාංශික තරුණ නායකයන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.සූරියමල් ව්‍යාපාරයෙන් ලද මුදල් මැලේරියාවෙන් පීඩාවට පත් ජනතාව වෙත ලබා දීමට වාමාංශික නායකයන් එකඟ විය.දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ සමඟ එකතු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මැලේරියාවෙන් පීඩාවට පත් ජනයා සොයා ගම් නියම්ගම් වෙත ගියහ.මෙම වසංගතය මැඩලීමට කොල්වින් ආර් ද සිල්වා, එන්. එම් පෙරේරා. ,පිලිප් ගුණවර්ධන හා රොබට් ගුණවර්ධන, එස්.ඒ. වික්‍රමසිංහ, රොබට් හා මේරි රත්නම් හා සෙලීනා පීරිස් වැනි අය පීඩාවට පත් ප්‍රදේශ වල ජනතාව අතර අතිශය ජනප්‍රිය විය. මැලේරියා වසංගතය දුරු කිරීමට ලංකා සමසමාජ පක්ෂය ගත් ක්‍රියාමාර්ග කෑගලූ දිස්ත්‍රික්කය හා කැළණි මිටියාවතේ ජන ප්‍රවාද බවට පත් වූ බව, හිටපු ජනපති ‌ජේ. ආර්. ජයවර්ධන විසින් පවසා තිබීම හරහාම එම ඔවුන් ලබාදුන් දායකත්වය හොඳින්ම වටහා ගත හැකිය.මෙම ආපදා අවස්ථාවේ දී ජාතික ව්‍යාපාරයේ ඇල් මැරුණු ස්භාවය වාමාංශික නායකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.පීඩාවට පත් වූ ජනයා කෙරෙහි ඔවුන් දැක්වූ සැලකිල්ල ඉතාම සීමිත විය.එසේම ඒ.ඊ ගුණසිංහ ප්‍රධාන කොටගත් කම්කරු සංගමයද මෙම අවස්ථාවේ දී අලස ලෙස කටයුතු කරන්නට විය.මෙම තත්ත්වයන් හරහා ලංකාවේ එවකට සිටි පාලකයන්ගේ හා කම්කරු නායකයන් යැයි කියාගන්නා පිරිස් වල උදාසීන බව හා වාමාංශිකයන්ගේ ක්‍රියාශීලී කිර්යාකාරීත්වය මනාව ඉස්මතු විය.මැලේරියා වසංගතය මැඩලීමට වාමාංශික නායකයන් පෙරට පැමිණියත් රජය හෝ වෙනත් කිසිඳූ ආයතනයක් ඔවුන් මෙන් කැප වී කිර්යා නොකළහ.මෙය පැහැදිලි වන අවස්ථාවක් ලෙස 1936 මැතිවරණයට ල.ස.ස.ප යෙන් රුවන්වැල්ල නියෝජනය කරමින් ඉදිරිපත් වූ එන්.එම් පෙරේරා ප්‍රදේශයේ රදල කාන්තාවක් පරදවා ජය හිමි කර ගැනීමයි.මේ අනුව මැලේරියා වසංගතය මැඩලීමට වාමාංශික නායකයන් ගත් උත්සාහය 1935 ල.ස.ස.ප පිහිටු වීමට පුරෝගාමී කටයුත්තක් වූ බව පෙන්වා දිය හැකිය.

නිදහස වෙනුවෙන් ව්‍යාපාරයක් නොවීම.

1919 දෙසැම්බර් 11 දින ලාංකීක මධ්‍යම පාංතිකයන්ගෙන් සමන්විත සංගම් 14 ක් එක් වී ඉන්දියානු ජාතික සංගමයේ ආභාෂය සහිතව ලංකා ජාතික සංගමය පිහිටුවීය. ආරම්භ වූ දා සිටම කිසිඳූ ජාතිකවාදී කි‍ර්යාවක සම්බන්ද නොවුනු මෙම ජාතික සංගමය කෙටි කලක් ගත වන විට හුදු පහතරට සිංහලයන්ගේ සංගමයක් පමණක් විය.ඉන්දියානු ජාතික සංගමයේ ආභාෂය ලැබුවත් ඉන්දියානු නායකයන්ගේ ප්‍රධානතම ඉල්ලීම වූ නිදහස ලංකා ජාතික සංගමය තුළ නොවීය.එය සෑම විටම අභ්‍යන්තර ස්වයං පාලනයෙන් අවසන් විය.මෙවන් තත්ත්වයක් මත එකළ මෙරට වැසියන් කෙතරම් පරිදීන ජාතියක් බවට පත් වී සිටියා ද යන්න උඩකැන්දවල සරණංකර හිමියන්ගේ මෙම ප්‍රකාශයෙන්ම දැකගත හැකිය,පිංකම අවසානයේ ජෝර්ජ් රජුට පින් අනුමෝදම් කොට රජ පවුලේ ගුණ වනා ශුභ පැතීමට තරම් මෙහි පැවිද්දෝ එදා පිරිහී සිටියෝ ය.

පූර්ණ නිදහස වෙනුවෙන් සටන් කළ එකම පිරිස මෙරට වාමාංශිකයන් විය. එය කෙතරම් ප්‍රබලව පැවතියාද යත්, 1935 දී ල.ස.ස.ප පිහිටු වීමේ දී ප්‍රධාන අරමුණු තිර්ත්වය අතර සම්පූර්ණ ජාතික නිදහස ලබා ගැනීම ප්‍රධාන විය. එසේම 1948 මෙරටට ඩොමිනියන් නිදහසක් හිමි වූ විට පූර්ණ නිදහස ලබා ගැනීමට 1972 කොල්වින් මූලික වූ ව්‍යවස්ථාව නිර්මාණය කරන තෙක් වසර 24 බලා සිටීමට සිදුවීම තුළින්ම මෙරට මධ්‍යම පාංතිකයාගේ නිදහසට ඇති අවශ්‍යතාවය පැහැදිලි වේ.

කම්කරුවන් වෙනුවෙන් ව්‍යාපාරයක් නොවීම.

1893 දී ඒ.ඊ බුල්ජන්ස්ගේ නායකත්වයෙන් ලංකාවේ ප්‍රථම කම්කරු ව්‍යාපාරය ආරම්භ විය. එතැන් පටන් ඇරඹුණු මෙරට කම්කරු ව්‍යාපාරය තුළ ජය මෙන්ම පරාජද විය.එහිදී,

  1. සංවිධානාත්මක බවේ දුර්වලතා
  2. වාමාංශික අදහස් නොවීම
  3. නිසි නායකත්වයක් හෝ මඟ පෙන්වීමක් නොතිබීම
  4. කම්කරු ගැටලු නිසි ආකාරව හදුනා නොගැනීම

මෙම පරාජ වලට ප්‍රධාන හේතු විය. 1922 දී ඒ.ඊ ගුණසිංහගේ නායකත්වයෙන් ලංකා කම්කරු සංගමය බිහිවිය.මුල් කාලීනව සාර්ථක වැඩ වර්ජන මාලාවක් මඟින් කම්කරු අයිතීන් දිනා දීමට ගුණසිංහ සමත් විය. ඒ අතර ,

1927 වරාය වැඩවර්ජනය.

1929 ට්‍රෑම් කාර් වැඩවර්ජනය.

ප්‍රධාන වේ. මෙම ජයග්‍රහණ නිසා ගුණසිංහ නාගරික කම්කරු පංතියේ වීරයෙක් විය. එහෙත් 1931 දී ගුණසිංහ රාජ්‍ය මන්තිර්ණ සභාවට තේරීපත් වීමත් සමඟ අධිරාජ්‍යවාදයේ ගොදුරක් විය.කම්කරු සටන් පාවා දෙන්නට විය. කම්කරුවන් අතර ජාතී වර්ග භේද ඇති කරන්නට විය.1933 වර්ජනය කඩාකප්පල් කළේ ය.මෙම තත්ත්වය මත කම්කරුවන් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ප්‍රධාන කරගත් තරුණ සංගම් ව්‍යාපාරයේ වෘත්තීය සමිති හා ඒකරාශී වන්නට විය.එසේම මෙම කම්කරුවන් 1935 ල.ස.ස.ප පිහිට වූ පසු එහි සාමාජිකයන් බවට පත් විය.මේ අනුව කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ කාර්යය මඟින් ද ල.ස.ස.ප පිහිටු වීමට පුරෝගාමී සේවයක් ඉටු වූ බව පෙනී යයි.

ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ බලපෑම.

1920 දශකයේ අගභාගය ඉන්දීය ජාතිවාදය සටන්කාමී අවධිය තුළින් ගමන් කළ වකවානුවක් විය.ගාන්ධිතුමාගේ කි‍ර්යාවන් කෙරේ මෙරට ජනතාවද වැඩි අවධානයකින් පසුවිය.මෙම නිසා මෙරට වාමාංශිකයන් ද එය අනුගනය කරන්නට විය.මීට අමතරව ලන්ඩනයේ ඉන්දියානු ශිෂ්‍ය ව්‍යාපාරය වූ ලන්ඩන් මජ්ලිස් සංගමය හා එහි ප්‍රබලයන් වූ කිර්ෂණ මෙනන්,පෙනර් බ්‍රොක්වේ මෙරට තරුණ වාමාංශිකයෙක් වූ දොස්තර එස්. ඒ වික්‍රමසිංහ සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කළේ ය.1919 දී ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාෂය ලබා මෙරටේ ද ජාතික සංගමයක් බිහි වූ නමුත් එය කිසි දිනක ඉන්දියානු ජාතික ව්‍යාපාරය අනුගමනය කළ මාවතේ ගමන් නොකළේ . පූළුල් සංගමයක් ලෙස සටන ආරම්භ කලත් 1922 පමණ වන විට මෙය පහතරට සිංහල පෙරකදෝරුවන්ගේ සංගමයක් බවට පත් වී තිබිණි. ජාතිකත්ව හැඟීම් ඔවුන් තුළින් පිළිබිඹු නොවූ අතර එවන් හැඟීමක් සහිතව කටයුතු කළ එකම පිරිස මෙරට වාමාංශිකයෝ පමණක් විය.ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ බලපෑම ද ල.ස.ස.ප පිහිටුවිමේ දී පුරෝගාමී කාර්යයක් ඉටු කරන්නට විය.

ඉහත ආකාරයට ල.ස.ස.ප පිහිටු වීමට මූලික වූ තත්ත්වයන් විග්‍රහ කළ හැකිය. මෙම සියලූ තත්ත්වයන් ල.ස.ස.ප නම් පක්ෂයක අවශ්‍යතාවය පෙන්වා දෙන්නට විය.එහි අවසන් ප්‍රතිඵලය ලෙස, 1935 දෙසැම්බර් 18 දින ලංකා සමසමාජ පක්ෂය බිහිවීය.

Malcome Dep Weerasinghe B.A.History (Sp) USJ

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

උපුටා ගැනීම් සියල්ල කතෘගේ අනුදැනුම මත පමණි.

 


Post a Comment

0 Comments