කටුස්සාගේ කරේ රත්තරං එල්ලීම - රනූ මොන්ඩාල් (Ranu mondal)

 

කටුස්සාගේ කරේ රත්තරං එල්ලීම - රනූ මොන්ඩාල් (Ranu mondal)



1960 නොවැම්බර් 5 දින උපත ලැබු රනූ මොන්ඩාල්, නිසි අධ්‍යාපනයක් නොලබා අඩු වයසෙන් කසාද දෙක තුනක්ම බැඳලා සැමියාගෙන් අනන්තවත් ගුටි කා පසුව දරුවොත් සමග තනිවෙලා පාරට වැටෙන දුගී ගැහැණියක්. දුක්ඛිත දිවියක් ගත කල ඈ අන්තිමට බෙන්ගාල් වල රනාගට් දුම්රිය වේදිකාවේ හිඟන්නියක් වෙලා තමයි නැවතුනේ.

කුණු පිරුණු සාරි කබලක් ඇඳගෙන ,ඇවිස්සුනු කෙස් වැටියක් සහිත මේ සිඟන්නිය උපන්දා සිට මේ දක්වාම ඇය ව අත් නොහැර ලඟින් හිටියේ කටහඬ විතරයි.හේතුවක් ඇතුවත් ,නැතුවත් දුකට සතුටට ,බඩගින්නට මේ හැමදේකටම ඔහේ සිංදු මුමුණන රනූ 2019 මැද දවසක හවසක දුම්රිය මැදිරියේ රේඩියෝවක වාදනය උන මොහමඩ් රාෆි ගේ ගීතයක් රේඩියෝවේ සද්දෙටත් වඩා හයියෙන් ගායනා කරමින් මැදිරියේ බිමක ඉඳගෙන හිටියා .නිතරම ඒ හරියේ ඉන්න අයට මේ ගායනය විශේෂ දෙයක් නොවුනට ,එතනින් යමින් සිටි චක්රබෝර්ති කියන තරුණයට මේ සුමිහිරි කටහඬක් හිමි යාචිකාව ගැන මොකක්දෝ අමුතු දෙයක් දැනුනා. ඔහු ඇයගේ ගායනය වීඩියෝ කරලා එවලේම ෆේස් බූක් දැම්මා .

විනාඩි ගානකින් ඉන්දියාවේ විතරක් නෙමෙයි ආසියාවේ අස්සක් මුල්ලක් නෑර රනූ මොන්ඩාල් ගේ මේ වීඩියෝව බැලුවා.

ඒකෙන් පස්සේ ,පාරේ නිදාගෙන හිටපු මොන්ඩාල් අන්තිමට නැවතුනේ හිමේෂ් රෙශ්මියා කියන දැවැන්ත නිර්මාණකරුවා ළඟ.එක රැයකින් රනූ මොන්ඩාල් නම් වූ හිඟන්නිය ,රනූ මොන්ඩාල් නම් වූ තාරකාව බවට පත් වුනා ,සල්මන් ඛාන් ගෙන් ලක්ෂ ගානක ගෙයක් හම්බුනා , ජනප්රිය වුනා , ධනවත් වුනා ,ප්රසිද්ධ උනා .කොහොම කොහොම හරි ඇගේ දෛවය උඩු යටිකුරු උනා .

ඔන්න දැන් ඉතින් රනූ මොන්ඩාල් සුප්රසිද්ධ ගායිකාවක් බවට පත් උනා .

මාස දෙක තුනකට පස්සේ දවසක මොන්ඩාල් එයාගේ ආරක්ෂකයෝ එක්ක සුපර් මාකට් එකකට යනවා, එතනදී අහම්බෙන් මොන්ඩාල් ව දැකපු කාන්තාවක් එයාගේ පුංචි දුවත් එක්ක හරිම ආසාවෙන් සෙල්ෆියක් ගහන්න මොන්ඩාල් ලඟට එනවා ,පිටිපස්සෙන් ආපු ඇය ඉස්සරහ හැරිලා හිටපු මොන්ඩාල්ගේ අතට හිමීට තට්ටුවක් දාලා ෆෝන් එකත් අරන් සෙල්ෆියක් ගහන්න පුලුවන්ද අහනවා..

මොනවා වෙන්න ඇති කියලද හිතෙන්නේ, (හැබැයි හීනෙකින් වත් හිතපු දෙයක් නම් නෙමෙයි වෙන්නේ .)

මොකද මේ මාව අල්ලන්නේ ,මේ මේ මාව අල්ලන්න එන්න එපා ,මම දැන් celebrity කෙනෙක්,කියලා තරහෙන් පුපුර පුපුර මොන්ඩාල් කියන කොට අර කාන්තාවට කට උත්තරත් නැති වෙනවා ,ඒ විතරක් නෙමෙයි ඒ පොඩි ළමයත් බය වෙනවා .

ඔලුව ඉදිමිච්ච මෝඩ ගෑණියෙක් ,හිඟන්නන්ට රත්තරන් හම්බුනහම ඔහොම තමයි, මොන්ඩාල්ව තරුවක් කරපු මාධ්‍යට පවා මේ සිද්ධිය නිසා ඇය ගැන කළකිරෙනවා ,ඒ වගේම බොහෝ තැන්වලින් මොන්ඩාල්ව ප්රතික්ෂේප වෙන්න පටන් ගන්නවා .

රනූ මොන්ඩාල්ගේ කතාව ඇහුවාම හැමෝම අහලා තියන පිරුළක් මතක් වෙනවා නේද?

කටුස්සාගේ කරේ රත්තරං එල්ලුවා වගේ කියන පිරුළ, ඒ පිරුළ අපිට නැවත මතක කරන්නට රනූගේ කතාව ලොකු උදව්වක් වෙනවා. එකවර ලැබුණු තාන්න මාන්න නිසා තමන්ගේ සැබෑ තත්ත්වය අමතක වන අය අද ලෝකේ පිරිලා. ඒ අයට අවසානේ ලැබෙන දේ රනූගේ කතාවෙන් ගන්න පුලුවන් හොදම ආදර්ශය වනවා නොඅනුමානයි.

තොරතුරු අන්තර්ජාලයෙන්.

Malcome Dep Weerasinghe B.A.History (Sp) USJ

 

 

Post a Comment

0 Comments