ජාතික නිදහස් සටනේ ප්‍රථම අදියර සූරියමල් ව්‍යාපාරය


"ගනින් සූරිය මලක් ඒ නිදහසට ගනින් පොපි මලක් ඒ වහල් බාවයට"

සූරියමල් ව්‍යාපාරය යනු, ලාංකීය සමාජවාදී තරුණයන්ගේ ජනහිතකාමීත්වය හා අධිරාජ්‍යය විරෝධය ලොවට පෙන්නුම් කළ සුවිශේෂී අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. අධිරාජ්‍යය විරෝධී හැඟීම් සහිත රැඩිකල් තරුණයන් හරහා ආරම්භ වූ මෙම ව්‍යාපාරය මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය වර්ධනය වීමට ප්‍රබල හේතු කාරකයක් විය. ඇතැම් උගතුන් සූරියමල් ව්‍යාපාරය ජාතික නිදහස් සටනේ ප්‍රථම අදියර ලෙස ද හදුන්වනු ලබයි. 1 වන ලෝක සංග්‍රාමයේ අවසානය සිහි කරමින් නොවැම්බර් 11 වන දිනය බිර්තාන්‍යය අධිරාජ්‍යයා විසින් පොපි මල් දිනය (Armistice Day)යැයි නම් කළ අතර ලාංකීය ඉංගීර්සිගැති පිරිස් එම දිනය මෙරටදීද ඉහළින් සමරන්නට විය.එහෙත් ඉන් ලද ආදායම මෙරට සුභ සිද්ධිය සඳහා නොව බිර්තාන්‍යය වෙතම පටවන්නට විය.ඊට එරෙහිවූ රැඩිකල් තරුණ සංගම් හරහා පොපි මලට එරෙහිව මෙම සූරියමල් ව්‍යාපාරය උපත ලැබීය. 1926 දී ඒලියන් පෙරේරා හා ටෙරන්ස් ද සිල්වා විසින් එලෙස ආරම්භ කළ මෙම ව්‍යාපාරය 1931 දී සේවා මුක්ත භට සංගමය හා තරුණ සංගම් ව්‍යාපාරය විසින් තව තවත් ශක්තිමත් කළේය. මෙම ව්‍යාපාරය 1933 දී මැද කොළඹ තරුණ සංගමයේ නායකත්වය යටතේ ව්‍යාප්ත වන්නට විය. කම්කරුවන් හා සාමාන්‍ය ජනයා සූරියමල වැඩි වැඩියෙන් මිලදී ගන්නට විය.තමන්ට එරෙහිව පොදුජනයා ඒකරාශී වන බව වටහාගත් අධිරාජ්‍යවාදීන් විසින් කිසිඳූ කි‍ර්ස්තියානි පාසලක මෙකී සූරියමල් විකිණීම තහනම් කළහ.එසේම සූරියමල පැළද කිසිඳූ බිර්තාන්‍ය සමාගමකට ඇතුල් වීම ද තහනම් කළහ. එසේ වූවද අවසානයේ දී පොපි මල ලද ආදායමට වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට මෙම සූරියමල සමත් විය. පයින් ගමන් කරන්නන් සූරියමල පැළදීමට වැඩි කැමැත්තක් දැක්වූ අතර මෝටර්කාර් බොහෝමයක ගසා තිබුණේ පොපි මලයි.

යටත් විජිතභාවයේ සංකේතයක් ලෙස පොපි මල හැඳින්වූවා සේම සූරියමල දැරීම ගෞරවයක් ලෙසට ද මතවාදයන් මෙකල නිර්මාණය විය.මේ වන විට මෙම ව්‍යාපාරය සමස්ථයක් ලෙසම තරුණ සමාජවාදීන් වෙතම නතු වී තිබුණි.කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ඩොරීන් වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් ශක්තිමත් වූ මෙම ව්‍යාපාරයට,ආචාර්ය එන්.එම්.පෙරේරා,දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ,පිලිප් ගුණවර්ධන,ලෙස්ලි ගුණවර්ධන හා ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා වැනි ප්‍රබල තරුණ සමාජවාදීන් නායකත්වය දෙන්නට විය. සාමාන්‍ය ජනතාව මෙම ව්‍යාපාරය සමඟ ඉතාම සමීප සම්බන්ධයක් පවත්වා ගැනීම නිසා මේ සමාජවාදී අදහස් දැරු නායකයන්ට වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳව හා මෙරට පීඩිත පංතිය පිළිබඳව නිසි අවබෝධයක් ලැබුනි. එසේම ඔවුන් වෘත්තීය සමිති ව්‍යාපාර වලට නායකත්වය සැපයීම ද මේ හරහා ආරම්භ විය. මෙම සූරියමල් ව්‍යාපාරය හුදු වාමාංශික ව්‍යාපාරයක් නොවී ය. ඒ මඟින් මෙරට වැසියා සතු වූ අධිරාජ්‍යය වීරෝධය පිළිබිඹු විය.

එය 1936 දී සමසමාජ පත්‍රයට කොල්ළුපිටියේ අල්විස් පෙරේරා නම් කවියෙකු විසින් ලියා ඇති කවි මඟින් මනාව පෙනීී යයි.

යුදයට ගොසින් වෙඩි සැර කඩු පහර වැදී

අපෙරට වැසියන්ට එක සතයකුදු නොදී

සුදුගැට වලින් කරවත් අරමුදල පොදී

මිලයට ගතොත් පොපිමල හෙණ හතම වදී

පොපිමල් වලින් තරවෙයි අදරද වාදේ

පිළිකුල් කරමු එය දුටු දුටු තැන බේදේ

කහමල් පැළ ද ගතහොත් ජයසිරි මූදේ

වනකල් අමා නිදහස් අම රටස පෑදේ

(සමසමාජය1936 නොවැම්බර් 26 .)

මේ අනුව පෙනී යන තත්ත්වය නම්, සූරියමල් ව්‍යාපාරය යනු තවත් එක්තරා ආකාරයක ඉංගීර්සීන්ට විරෝධය පෑමක් පමණක් නොවන බවයි. පොපි මල මඟින් තව තවත් අධිරාජ්‍යවාදය හා හීලෑ කිරීමට ගත් උත්සහය විනාශ කොට දමා ඒ වෙනුවට ආනාගත වාමවාදී ව්‍යාපාරයක් සඳහා තැබූ යෝධ පියවරක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. ලංකාවේ පොපි මලෙන් ලද ආදායම බි‍ර්තාන්‍යයේ සෙබළු වෙනුවෙන් වැය වන විට සූරියමල් ව්‍යාපාරය ම`ගින් ලද ආදායම ඒ වන විට රට වසාගෙන සිටි මැලේරියා වසංගතය දුරු කිරීමට යොදවන්නට විය. මෙමඟින්ම මෙම සටනේ වැදගත් බව හඳූනාගත හැකිය. මෙම ව්‍යාපාරය හරහා ලද අත්දැකීම්  ද උපයෝගී කරගත් මෙම වාමාංශික නායකයන් අනාගත වෘත්තීය සමිති කටයුතු වර්ධනය කරගන්නට විය.

Malcome Dep Weerasinghe B.A.History (Sp) USJ

 

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

උපුටා ගැනීම් සියල්ල කතෘගේ අනුදැනුම මත පමණි.

Post a Comment

2 Comments