Malcome Dep Weerasinghe B.A.History (Sp) USJ
ලාංකීය වාමවාදී දේශපාලන ඉතිහාසයේ ඉතාම සුවිශේෂී චරිතයක් වූ ආචාර්ය කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා මහතා 1907 පෙබරවාරි මස 16 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම රන්දොඹදී ඔබිනාමුනි අර්නෝලිස් ද සිල්වා හා පෙට්ටගම් ජොසලින් ද සිල්වා යුගලගේ දෙවන පුතු ලෙස මෙලොව එළිය දුටුවේය. බටහිර වෛද්‍යවරයෙක් වූ කොල්වින්ගේ පියා එවකට බද්දේගම රාජකාරී කිරීම හේතු කොටගෙන කොල්වින්ගේ ළමා විය මෙම ගම් පියසේදී ගත කිරීමට සිදු විය. කොල්වින් හට වොල්වින් ඒ. ද සිල්වා නම් වැඩිමහලූ සොහොයුරෙක් විය.එසේම පර්ල් මහේෂ්වරී ද සිල්වා, බෙරිල් ද සිල්වා , ක්ලැරිබල් සංගීන් ද සිල්වා හා ඔනරින් පද්මිනී ද සිල්වා ලෙස බාල සොහොයුරියන් සිවිදෙනෙක් හා ඩියුට්රන් ද සිල්වා නම් බාල සොහොයුරෙක් ද විය. (සම්මුඛ සාකච්ඡා¦2018-03-08,කොළඹ,මනෝරි මුත්තෙට්ටුවගම.)
කුඩා කාලයේ සිටම අධ්‍යාපනික කටයුතු වලට
දක්ෂතා පෙන්වූ කොල්වින් 1911 දී සිය පළමු පාසල වූ බලපිටිය (සී.එම්. එස්) ක්‍රිස්තියානි
මිෂනාරී පාසලට ඇතුළු විය. 1914 දී කොල්වින් පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ ශිෂ්‍යයෙක්
විය. සිය සීයාගේ නිවසේ සිට කරත්තයෙන් මුලදී පාසල් ආ කුඩා කොල්වින් පසුව ගමේ දරුවන් සමඟ පයින් පාසල් ඒමට වැඩි කැමැත්තක්
දැක්වීය. සිය වැඩිමහල් සහෝදරයා වූ වොල්වින් සමඟ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ අධ්‍යාපනය
ලැබූ කොල්වින්ගේ දක්ෂතා නිසා 1919 දී කොල්වින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළු විය.ඉගෙනීමට
මෙන්ම ක්‍රීඩාවට අතිදක්ෂයෙක් වූ කොල්වින්
රාජකීය විද්‍යාලයේ සිටි දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙස කැපී පෙනෙන්නට විය. එය මනාව පසක්
වන්නේ, ඩබල් ප්‍රමෝෂන් දෙකක් ලබා ගැනීමෙනි. රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස කැපී
පෙනුණ කොල්වින් වසර තුනකදී “කේම්බ්‍රීජ් ජුනියර්” විභාගය හා “කේම්බ්‍රීජ් සීනියර්”
විභාග ඉතා ඉහලින් සමත් විය. 1924 වන විට ලන්ඩන් මැටික්යුලේෂන් විභාගයෙන්ද සාමාර්ථය
ලබා ගැනීම සුවිශේෂී වන්නේ, විභාගය ගැනීමට වයස මදි වී එකම පන්තියේ අවුරුදු දෙකක්
සිට පසුව නිසි වයස සම්පූර්ණ වූ පසු විභාගයට පෙනී සිට එය ඉහලින් සමත් වීමෙනි.
1925 දී තම උපාධිය සඳහා එංගලන්තයට පිටත්ව යාම තම
ජීවිතය වෙනස් කරන සිදුවීමක් බව කොල්වින් සිහිනෙන්වත් නොසිතන්නට ඇත. ලන්ඩනයේ කිංස්
කොලේජ් ශාස්ත්‍ර ශාලාවට(King’s College, London.) ඇතුළු වන කොල්වින් තම ඉගෙනීමට ඇති හපන්කම ලන්ඩනය තුළද පෙන්වනට විය. 1925 දී කිංස් කොලේජ්හි ශිෂ්‍යත්වලාභී දීප්තිමත් ශිෂ්‍යයන් හය දෙනා අතර ලංකාවේ
සී. ආර් ද සිල්වා නම් අයෙකු විය. ඒ වෙන කෙනෙක් නොව කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා
ය.ඉන් නොනැවතුනු කොල්වින් 1926, 1927 හා 1928 යන වර්ෂවලදී ලොව නන් දෙසින් පැමිණි අති
දක්ෂයින් පරදවමින් කිංස් කොලීජියේ දක්ෂතම ශිෂ්‍යයා ලෙසට පත් විය.
1928 දී එනම් අවුරුදු 21 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ප්‍රථම පංතියේ ගෞරව උපාධියක්
ලබා ගැනීමට කොල්වින්ට හැකි විය. 1930 දී එම විශ්වවිද්‍යාලයේදීම “Ceylon
under the British occupation”(බ්‍රිතාන්‍යය යටතේ ලංකාව) යන මාතෘකාව යටතේ නවීන ඉතිහාසය
විෂයට අදාළව පර්යේෂණ කටයුතු වල නිරත වූ කොල්වින් විශිෂ්ට ලෙස තම පර්යේෂණ ග්‍රන්ථය
සම්පාදනය කරමින් තම ආචාර්ය උපාධිය(Ph. D.) ලබා ගත්තේය. මෙමඟින් ඉංග්‍රීසීන් ලංකාව
සම්බන්ධයෙන් තැබූ නිවැරදි නොවන ඉතිහාස සටහන් වෙනස් කරමින් ඉතිහාසය නැවත ලියා ඇතුවා
සේම ඉංග්‍රීසි අධිරාජ්‍යයට ඇති විරෝධය උපහාස මඟින් ඉදිරිපත් කිරීමටද කොල්වින්
කටයුතු කර තිබේ.
උදා, “බ්‍රිතාන්‍යයන් තම යටත් වැසියන්ට
නිරතුරුව සඳහන් කළේ, ඔවුන් හිරු නොබසින අධිරාජ්‍යයේ වැසියන් බවයි.
නැතිනම් හිරු බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයෙන් කිසි විටෙක බැස නොයන බවයි“.
(The sun never sets on the British
Empire.)
“මෙයට ප්‍රතිචාර දක්වන
කොල්වින් සඳහන් කරන්නේ, හිරු බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය කලුවරේදී විශ්වාස නොකරන නිසා
හිරු බැස නොයන බවයි. “
(That’s because the God does not trust the British in the dark)
තම ආචාර්ය උපාධියත් සමඟම ලන්ඩන් ලින්කන් ඉන්(Lincoln’s
Inn)නම් නීති විද්‍යා පීඨයෙන් අධිනීතීඥයෙක්(Barrister Law) ලෙසද සමත් වීමට 1931 දී කොල්වින් සමත් විය.
1931 වන විට කොල්වින් (B.A. Hones) , (Ph. D.) හා (Barrister Law) යන උපාධි ත්‍රිත්වයක හිමිකරුවෙක් විය. මේ සම`ගම ලංකාවට පැමිණ නීතීඥ වෘත්තියේ නියැලීමට කොල්වින්ගේ උවමනාව විය. එහෙත් මෙම
තරුණ බුද්ධිමතා දෙස බලා සිටි ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය මහාචාර්ය ඒ. සී.
නිවුටන් උසස් තනතුරු දෙකක් පිලියෙළ කොට කොල්වින්ට ලබා දීමට සූදානමින් සිටියේය. එනම්,
ඩෙකා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය මහාචාර්ය තනතුරක් හෝ දකුණු ඇමරිකානු සරසවියක මහාචාර්ය
පදවියක් භාරගන්නා ලෙසයි. එහෙත් තම අරමුණ නීතීඥ වෘත්තියේ නියැලීම වන හෙයින් මෙම
තනතුරු පිළිගැනීම කොල්වින් ඉතාම ගෞරවයෙන් ප්‍රතික්ෂේප කර තිබේ යි. 1931 දීම පෙරළා
ලංකාවට පැමිණි කොල්වින් පසු කාලීනව ලංකාවේ අධිනීතීඥයෙක්, නීති වේදියෙක්, නීති
විශාරදයෙක් මෙන්ම නීති සම්පාදයෙක් ලෙස කටයුතු කරන්නට විය.
1935 දී සිය නෑනා වූ සුවිනීතා නීනා ද සිල්වා සමඟ
විවාහ වූ කොල්වින් දියණියන් දෙදෙනෙක් හා එක් පුතෙක්ගේ ආදරණීය පියෙක් විය. මනෝරි
කෝකිලා ද සිල්වා හා ශිරීන් මෝහිනී ද සිල්වා දියණියන් දෙදෙනා වූ අතර නලින විශ්වජිත්
ද සිල්වා කොල්වින්ගේ එකම පුත්‍රයා විය.සිය පියාගේ පාරේ යමින් වැඩිමහල් දියණිය වන
මනෝරි කෝකිලා ද සිල්වා පසුව දක්ෂ නිතීඥවරියක් විය. ඇය කොමියුනිස්ට්වාදියෙක් වූ
සරත් මුත්තෙට්ටුවේගම හා විවාහ විය. ඔහුද නිතීඥයෙක් විය. දෙවන දියණිය වූ ශිරීන්
මෝහිනී ද සිල්වා, වීරසිංහ ද සිල්වා නම් නිතීඥයෙක් සම`ග විවාහ විය. කොල්වින්ගේ එකම පුත්‍රයා ද නිතීඥයෙක් විය. කොල්වින්ගේ පවුල
නිතීඥ පවුලක් විය. කොල්වින්ගේ ජීවිතයේ අපූර්ව අවස්ථාවක් ලෙස 1970 මැතිවරණය පෙන්වාදීමට හැකිය. ඊට හේතුව වන්නේ, කොල්වින් අගලවත්ත ආසනය ජය ගෙන පාර්ලීමේන්තුවේ
ආසනයක් වෙන්කර ගනිද්දී ඔහුගේ බෑණාවරුන් වන සරත් මුත්තෙට්ටුවේගම කලවාන ආසනයත්
වීරසිංහ ද සිල්වා බලපිටිය ආසනයත් ජය ගෙන එකම පාර්ලිමේන්තුවේ සාමාජිකයන් බවට
පත්වීමයි.
1931 දී ලංකාවට පැමිණි කොල්වින් කනිෂ්ඨ නීතීඥයෙක්
ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. මේ අතරවාරයේ ඇති වූ සිද්ධියක් කොල්වින්ගේ ගමන්
මඟ වෙනස් කරන්නට සමත් විය.එනම්, 1933 දී ඇති වූ "වැල්ලවත්තේ රෙදි මෝලේ වැඩ
වර්ජනයයි". ජපන් රෙදි මෙරටට වැඩි වශයෙන් ලැබීම නිසා මෙරට
රෙදි පිළිවලින් ලද ආදායම අඩු වන්නට විය. මෙම නිසා 1400කට අධික වූ කම්කරුවන්ගේ වැටුප අඩු කිරීමට
පාලන අධිකාරිය කටයුතු කළහ. මෙම රෙදි මෝලේ කම්කරුවන් එවකට කම්කරුවන්ගේ අසහාය නායකයා
වූ ඒ.ඊ.ගුණසිංහයන්ගේ කම්කරු සංගමයේ සාමාජිකයන් විය. ඔවුන් මීට පෙර 1923, 1926, 1929 දී සි`දුකල වැඩවර්ජන මඟින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබිණි.
එහෙත් 1933 දී සිදු කළ වැඩ වර්ජනයේදී ගුණසිංහ කම්කරු සටන පාවා දුන් අතර කම්කරුවන්ට
ගුණසිංහ කෙරේ තව දුරටත් විශ්වාසය තබන්නට තරම් හේතු ඉතිරි වී නොතිබිණි. එබැවින්
වෙනත් සටන්කාමී නායකයෙක් තම සටන් ව්‍යාපාරයට උවමනා බව වටහා ගත් කම්කරුවන් රාජ්‍ය
නීතීඥයෙකු වූ, එච්. ශ්‍රී. නිශ්ශංක මහතාගේ සහය පැතීය.මෙහිදී මෙම සටනට නායකත්වය
දීමට ඔහු විසින් මාක්ස්වාදය හා කම්කරු අයිතීන් මැනවින් හ`දුනන ආචාර්ය කොල්වින් ආර්
ද සිල්වාට ආරාධනා කළේය. එහිදී
"වැල්ලවත්තේ කම්කරු සංගමය" පිහිටුවා ගනිමින් සටනට අවතීරණ වූ
කොල්වින් එම සංගමයේ සභාපතිවරයා බවට පත් විය.තරුණ සංගම් ක්‍රියාකාරීන්ගේද නොමඳ සහාය
ඇති ව දින අටක් (08) නොකඩවා කල වැල්ලවත්ත රෙදි මෝලේ වර්ජනය කම්කරුවන්ට
ජය ලබාදෙමින් අවසන් විය. මේ වර්ජනය සමඟ ලංකාවේ මාක්ස්වාදී බලපෑම සහිතව වර්ජන කිරීම
ඇරඹුණු අතර එහි මූලිකයා කොල්වින් විය.
කොල්වින් ඇතුළු ලංකාවේ වාමාංශික නායකයන්ගේ
වාමාංශික හැඟීම් වර්ධනයට හේතු වූ වැදගත් අවස්ථාවක් ලෙස "සූරියමල් ව්‍යාපාරය" පෙන්වා දිය හැකිය. පළමු වන ලෝක සංග්‍රාමයේ අවසානය සිහි කරමින් නොවැම්බර් 11
වනදාට යෙදුනු පොපිමල් දිනය ලංකාවේදී ද සමරන්නට විය. එය මෙරට සිටි බ්‍රිතාන්‍යය
ගැති පිරිස් ඉතා උසස් අන්දමින් සමරන්නට විය. ලාංකික රැඩිකල් තරුණ සංගම් 1926 දී
පටන් මෙයට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන්නට විය.ජාතික යැයි කියාගන්නා ව්‍යාපාරයේ
නායකයන් ද ජාතියක් ලෙස මෙයට විරුද්ධ වීම පසකට දමා බ්‍රිතාන්‍යය සමඟ එක්වී පොපිමල්
දිනය සමරන්නට විය.සාමාන්‍ය ජනතාව,තරුණයන් හා වාමාංශිකයන් මෙම තත්ත්වයට විරුද්ධ
විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1931 දී පොපි මල වෙනුවට "සූරිය මල" තරඟයට
පැමිණෙන ලදී. කොළඹ හා වෙනත් නගර වල සූරිය මල ඉතා වේගයෙන් අළෙවි වන්නට විය. "පයින්
ගමන් කරන්නන් සූරිය මල පැළඳීමට වඩා වැඩි කැමැත්තක් දැක් වූ අතර මෝටර් කාර් බොහොමයක
ගසා තිබුණේ පොපි මලයි". මෙම ව්‍යාපාරය 1932 දී නතර වන අතර 1933 දී
නැවත මැද කොළඹ තරුණ සංගමය හරහා ශක්තිමත්ව පෙරට එයි. සමසමාජ නායකයන් මේ හරහා
ඉදිරියට එන අතර එය ඔවුන්ගේ අනාගත දේශපාලන හා වෘත්තීය කටයුතු වල දියුණුවට හේතුවක්
විය.
1935 වන විට ලංකවේ මැලේරියා වසංගතය දරුණු ලෙස
පැතිර යන්නට විය. ඇතැම් වාර්තා වලට අනුව එවකට සමස්ත ලංකාවෙන් 25% මැලේරියාව වැළඳී තිබූ අතර මරණ සංඛ්‍යාව ද අති
විශාල විය. මේ තත්ත්වය දුරු කිරීමට වාමාංශික තරුණ නායකයන්ට දැඩි වෙහෙසක් දැරීමට
සිදු විය. සූරියමල් ව්‍යාපාරයෙන් ලද මුදල් මැලේරියාවෙන් පීඩාවට පත් ජනතාව වෙත ලබා
දීමට කොල්වින් ඇතුළු වාමාංශික නායකයන් එකඟ විය. දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ සමඟ
එකතු වූ කොල්වින් මැලේරියාවෙන් පීඩාවට පත් ජනයා සොයා ගම් නියම් ගම් වෙත ගිය අතර
ඇතැම් විට කොල්වින් තම අතින්ම ලූණු කැඳ සාදා ඔවුන්ට පෙවූ බවටද වාර්තා වේ. ලංකා සමසමාජ
පක්ෂයේ නායකයන් වූ කොල්වින්, එන්. එම් පෙරේරා. , පිලිප් ගුණවර්ධන හා රොබට් ගුණවර්ධන, එස්.ඒ. වික්‍රමසිංහ, රොබට් හා මේරි රත්නම් හා සෙලීනා පීරිස් වැනි අය පීඩාවට පත් ප්‍රදේශ වල
ජනතාව අතර අතිශය ජනප්‍රිය විය. "මැලේරියා වසංගතය දුරු කිරීමට ලංකා සමසමාජ
පක්ෂය ගත් ක්‍රියාමාර්ග කෑගලූ දිස්ත්‍රික්කය හා කැළණි මිටියාවතේ ජන ප්‍රවාද බවට
පත් වූ බව", හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන විසින් පවසා
තිබීම හරහාම ඔවුන් ලබාදුන් දායකත්වය හොඳින්ම වටහා ගත හැකි ය.මෙම ආපදා අවස්ථාවේ දී
ජාතික ව්‍යාපාරයේ ඇල් මැරුණු ස්භාවය වාමාංශික නායකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.පීඩාවට
පත් වූ ජනයා කෙරෙහි ඔවුන් දැක්වූ සැලකිල්ල ඉතාම සීමිත විය. එසේම ඒ.ඊ ගුණසිංහ ප්‍රධාන
කොටගත් කම්කරු සංගමයද මෙම අවස්ථාවේ දී අලස ලෙස කටයුතු කරන්නට විය. මෙම නිසා
කම්කරුවන් හා ජනතාව මින් පසු ඒ.ඊ ගුණසිංහගේ කම්කරු සංගමය සමඟ සබඳතා අවම කොට
කොල්වින් ප්රමුඛ වාමාංශිකයන් වටා ඒකරාශි වන්නට විය.එය ඒ.ඊ ගුණසිංහගේ කම්කරු සංගමය
පරිහාණියට ගමන් කිරීමේ පළමු අවස්ථාව විය.මෙම තත්ත්වයන් හරහා ලංකාවේ එවකට සිටි
පාලකයන්ගේ හා කම්කරු නායකයන් යැයි කියාගන්නා පිරිස් වල උදාසීන බවත් වාමාංශිකයන්ගේ
ක්‍රියාශීලී ක්‍රියාකාරීත්වය හා මානව හිතවාදීත්වයත් මනාව ඉස්මතු වන්නට විය.මින්
පසු කොල්වින් වෘත්තීය සමිති කටයුතු රාශියකට නායකත්වය දුන් අතර ඒවා අතරින් ජය
නොලැබූ සටනක් නොමැති තරම්ය.
උදාහරණ , බ්‍රේස්ගර්ඩ්ල් සිද්ධිය , මුල්ඔය වර්ජනය , ගෝවින්දන්ගේ මරණය , ස්වභාෂා අරගලය , 1953 හර්තාල් ව්‍යාපාරය.
කොල්වින් ආර් ද සිල්වා තමන්ට හිමි වූ
මහාචාර්ය පදවියද පසෙකට කර මෙරටට පැමිණියේ නීතීඥයෙක් වීමේ අරමුණ සහිතවයි. නීතීඥයෙක්
ලෙස ප්‍රබල භූමිකාවක් ලංකා ඉතිහාසය තුළ ගොඩනැංවූ කොල්වින් අපරාධ නඩු වලට වැඩි ප්‍රසිද්ධියක්
ඉසිලීය.තවද වාමාංශික අදහස් ජයග්‍රහණය කරවීමට මුදල් පසෙකට කොට ඔහු තම වෘත්තියේ නිරත
විය.ඔහුගේ නීතීඥ වෘත්තියේ ඔහු පෙනී සිටි බොහෝ නඩු දැඩි ආන්දෝලනයට පත් වූවා සේම තම
පාර්ශවයට ජය උරුම කර දීමට ද කොල්වින් සමත් විය.
උදාහරණ, 1933 වැල්ලවත්ත රෙදි මෝල් වර්ජන නඩුව,
1953 හර්තාල් නඩු, ගෝවින්දන් නඩුව, සතාසිවම් ඝාතන නඩුව, බ්රේස්ගර්ඩිල් නඩුව
දේශපාලඥයෙක්, කම්කරු නායකයෙක් සේම කොල්වින්
දක්ෂ නීතීඥයෙක් ද වූ බව මේ හරහා පෙනී යයි.
1933 වැල්ලවත්ත රෙදි මෝලේ වර්ජනට නායකත්වය දෙමින්
වෘත්තීය සමිති ක්ෂේත්රයට අවතීරණ වූ කොල්වින් සූරිය මල් ව්‍යාපාරය ,මැලේරියා වසංගතය වැනි අවස්ථාවලදී නායකත්ව ගුණාංග ප්‍රකට කරන්නට විය.1935 වන විට සූරිය මල් ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් හා තරුණ සංගම් නායකයන් ඇතුළු වාමාංශික
නායකයින් විසින් 1936 දෙවනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය සඳහා
එක් විධිමත් සංවිධානයක් යටතේ ඒකරාශී වීමේ අවශ්‍යතාවයක සිටියහ.මෙහි අවසාන ප්‍රතිඵලය
වූයේ, ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය බිහිවීමයි. සමාජවාදී පක්ෂයක මුහුණුවර ඇතිව
බිහි වූ මෙම දේශපාලන පක්ෂය "ලංකා සමසමාජ පක්ෂය" නම් විය. මෙහි ප්‍රථම නායකයා ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා විය. කොල්වින්
ලංකා සමසමාජ පක්ෂයේ නායකයා වීමත් සමඟ ඔහු වටා සිටි කමිකරුවන් පක්ෂයේ ද සාමාජිකයන්
බවට පත් වීමෙන් පක්ෂය වඩාත් වේගයෙන් ජනතාව අතරට ගමන් කරන්නට විය.
දෙවන ලෝක සංග්‍රාමය ඇරඹෙන්නට නිමිති පෙන්වන
යුගයේ ලංකාවේ ද අධිරාජ්‍යවාදීන් විසින් බලය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමින් සිටියහ.තමන්
හට මර්දනකාරී තත්වයකට මුහුණ දීමට සිදු වන බව වටහා ගත් සමසමාජ නායකයන් ඊට සූදානම්
විය.1940 දී ලංකා සමසමාජ පක්ෂය තහනම් විය.කොල්වින් ඇතුළු සම සමාජ නායකයන් කිහිප
දෙනෙක් බෝගම්බර සිර ගෙදර සිර ගත කළහ. 1942 දී ජපානයේ ඉලක්කයක් බවට ලංකාව පත්විය.
මේ තත්ත්වය යටතේ සමසමාජ නායකයන් සිර ගත කොට තැබීම ඉතා අනතුරුදායක විය. රොබට් ගුණවර්ධන
ප්රමුඛ සමසමාජවාදීන් ඉදිරිපත් වී කොල්වින් ඇතුළු සමසමාජ නායකයන් බෝගම්බරින් රැගෙන
විත් ඉන්දියාවට පිටත් කර යැවූහ. එහිදී ඉන්දියාවට පැනගිය කොල්වින් එරට නිදහස් ව්‍යාපාරයන්ට
සහාය දක්වන්නට විය.එසේම ඉන්දියාවේ බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය නිර්මාණය කොට එහි ලංකා
ශාඛාව බවට ලංකා සමසමාජ පක්ෂය පත් කරයි.1945 දී නිදහස ලැබූ කොල්වින් නැවත කම්කරු
නායකයෙක් ලෙස පෙරට එන්නට විය.1946/1947 මහා වර්ජනය වලට ද කොල්වින්ගේ සහය ලැබිණි.
කොල්වින්ගේ දේශපාලන තුළ ජය මෙන්ම පරාජ ද
නොඅඩුව තිබිණි.1947 මැතිවරණයට බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් වැල්ලවත්ත - ගල්කිස්ස ආසනයට තරග කර ජයගත් කොල්වින් 1952 දී පරාජය විය. නැවත 1956 හා 1960 දී ජය ගත්තේ ය.1965 දී පරාජය විය.1968 අතුරු මැතිවරණය ජය ගත්තේ ය.1970 දී සමගි පෙරමුණෙන් තරග කර ජයගත් කොල්වින් වැවලි කර්මාන්ත හා ව්‍යවස්ථා සම්පාදක
අමාත්‍යවරයා බවට පත්විය.1972 මැයි 22 ශීර් ලංකාව නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක්
බවට පත් කිරිමට අදාල ව්‍යවස්ථාව සම්පාදනය කලේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා
විසිනි. කෙසේ නමුත් 1977 මැතිවරණයෙන් ඔහුට නැවත පරාජය අත්විය. 1979 දී ආචාර්ය එන්.එම් පෙරේරා මිය ගිය විට ලංකා සමසමාජ පක්ෂයේ නායකයා ලෙස
කොල්වින් නැවත ඉස්මතු විය.1982 ජනාධිපතිවරණය සඳහා ල.ස.ස.ප අපේක්ෂකයා වූයේද කොල්වින්
ය.
1978 එප්පාවල ගොවි සටන කොල්වින් විසින් මෙහෙය වූ
අතර එහිදී එල්ල වූ කඳුළු ගෑස් බෝම්බයට ඔහුගේ කකුල පිළිස්සී තුවාල විය.එය ඔහුගේ මරණය
තෙක්ම වේදනා දුන් බව වාර්තා වේ. ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් තම හඬ අවධි කළ
කොල්වින්ට උගුරේ ආබාධයක් හට ගත්ද 1989 පෙබරවාරි 27 වන දින අවසන් හුස්ම පොද හෙළන තුරුම ජනතාව
වෙනුවෙන් තම හඬ අවධි කළේය.
ආචාර්ය කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා පිළිබඳ කෙටි තොරතුරු එකතුවක් මෙතනින්
ආචාර්ය කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වාගේ හඩ මෙතනින්
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
උපුටා ගැනීම් සියල්ල කතෘගේ අනුදැනුම මත පමණි.

4 Comments
Great work👌
ReplyDeleteAppreciated your Comments.
Deletegood job and thanks for sharing this
ReplyDeleteAppreciated your comments
Delete