බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය හෙවත් බොල්ෂෙවික් සමසමාජ පක්ෂය

ඉන්දියානු බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයේ ලංකා ශාඛාව හා බොල්ෂෙවික් සමසමාජ පක්ෂය යන නම් වලින් ද මෙම පක්ෂය හඳූන්වයි.මෙම පක්ෂය එකවරම ඇති වී එක වරම නැතිවී ගිය බවක් පෙනී යයි.එහෙත් මෙම පක්ෂය ඉතා වැදගත් දේශපාලන තත්ත්වයන් රාශියක එකතුවක් බව මාගේ හැඟීමයි. එසේම ශී‍ර් ලංකාවේ වාමාංශික ව්‍යාපාර හා ශීර් ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ පිළිබඳව විවිධ පර්යේෂණ කෘති හා ග්‍රන්ථ මෙන්ම ලිපි රචනා වී තිබුණ ද බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය පිළිබඳව තොරතුරු සඳහන් වී නොමැති තරම්ය.මෙමඟින් එම අඩුව යම් ආකාරයකින් හෝ පියවීම මාගේ අරමුණ යි.

1935 දෙසැම්බර් මස ශී‍ර් ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය බිහිවිය.එය ලංකා සමසමාජ පක්ෂයයි. සමාජවාදී පක්ෂ ව්‍යුහයක් සහිත වූ මෙම පක්ෂය 1936 මැතිවරණය ඉලක්ක කොටගෙන බිහි විය.ල.ස.ස.ප පරමාර්ථ වලට එකඟ ඕනෑම අයෙකුට ල.ස.ස.ප යේ සාමාජිකත්වය විවෘතව තිබිණි. එබැවින් මේ තුළ ට්‍රොට්ස්කිවාදීන්, ස්ටාලින්වාදීන්, සරල සමාජවාදීන්, ප්‍රතිසංස්කරණවාදීන් හා ධනවාද විරෝධීන් වැනි විවිධ අදහස් දැරූවන් දැකගත හැකි විය.මොවුන් පොදුවේ වාමාංශිකයන් ලෙස හැඳීන්වීම සාධාරණ වූවත් ඔවුනොවුන් අතර න්‍යාත්මක ලෙස බොහෝ වෙනස්කම් ගම්‍ය විය.මෙම තත්ත්වය පසුකාලීන ජාත්‍යන්තර දේශපාලනයේ සිදු වූ වෙනස්කම් සමඟ කිර්යාත්මක වී මෙරට පැරණි වමේ ව්‍යාපාරය කැඩී බිඳී යාම දක්වා සංකීර්ණ වන්නට විය. එහිදී,

සෝවියට් දේශයේ ලෙනින්ගේ පාලනයෙන් පසු ජෝෂප් ස්ටාලින් හා ලියෝන් ට්‍රොට්ස්කි අතර ඇති වූ අර්බුධ,

දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වීම හා රුසියාව ඊට සම්බන්ධ වීම,

චීන විමුක්ති අරගලය,

ඉන්දියානු වාමාංශික ව්‍යාපාරයේ බලපෑම.

ඒ අතර ප්‍රධාන සාධකයන් වේ.

මෙරට වාමාංශික ව්‍යාපාරය ඛෙදීයාමේ ප්‍රථම මෙන්ම ප්‍රබලතම අවස්ථාව වූයේ, සෝවියට් දේශයේ හා තුන්වන ජාත්‍යන්තරයේ ස්වරූපය පිළිබඳ න්‍යාත්මක මත භේදයයි.මෙහිදී, ල.ස.ස.ප 1940 දී තුන්වන ජාත්‍යන්තරය හෙළා දකින යෝජනාවක් සම්මත කරගත්තේය. මීට පක්ෂව ඡන්ද 29 හා විරුද්ධව ඡන්ද 05 ක් ද ලැබී එම යෝජනාව සම්මත විය. මේ සමඟ ල.ස.ස.ප යේ සිටි ස්ටාලින්වාදීන් පක්ෂයෙන් ඉවත් වී 1942 දී දොස්තර සුගීශ්වර වික්‍රමසිංහගේ නායකත්වයෙන් ලංකා කොම්යුන්ස්ට් පක්ෂය ආරම්භ විය.ස්ටාලින්වාදින් ල.ස.ස.පයෙන් ඉවත් වූ පසු ල.ස.ස.ප ට්‍රොට්ස්කිවාදීන්ගේ බලය සහිත පක්ෂයක් විය. 1940 දී ල.ස.ස.ප තහනම් කෙරිණි.ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ආචාර්ය එන්.එම් පෙරේරා, එඩ්මන් සමරක්කොඩි හා පිලිප් ගුණවර්ධන වැනි ප්‍රබල නායකයන් අත්අඩංගුවට පත්විය.මෙසේ සිරභාරයට පත් වූ ල.ස.ස.ප නායකයන් නැවත සිරබාරයෙන් නිදහස් වී පැමිණෙන විට ඔවුන් ට්‍රොට්ස්කිවාදී පිල් දෙකක් බවට පත් වී සිටියහ.

1941 දී සිව්වන ජාත්‍යන්තරයේ ඉන්දියානු ශාඛාව ලෙස, ඉන්දීය බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය (BLPI) බිහිවිය.මේ සඳහා ල.ස.ස.ප නායකයන් ප්‍රමුඛ කාර්යයන් රාශියක් ඉටු කර තිබිණි.මෙම පක්ෂය අධිරාජ්‍යවාදයට එරෙහිව හා පිරිසිදු මාක්ස්වාදී චින්තනය ආරක්ෂා කර ගැනීම ස`දහා පිහිටවනු ලැබිණි. ල.ස.ස.ප බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයේ ලංකා ශාඛාව ලෙස හඳූන්වනු ලැබීය. 1945 දී ආචාර්ය එන්.එම් පෙරේරා හා පිලිප් ගුණවර්ධන ඉන්දීය බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය විසින් නෙරපනු ලැබී ය.මේ සමඟ බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයේ ලංකා ශාඛාව ලෙස හැ`දින්වූ ල.ස.ස.ප තුළ ඊට පක්ෂව හා විපක්ෂව කණ්ඩායම් දෙකක් බිහිවී තිබිණි. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, ඩොරික් ද සූසා හා එඩ්මන් සමරක්කොඩි වැනි නායකයන් බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය හා පක්ෂ වූ අතර ආචාර්ය එන්.එම් පෙරේරාගේ නායකත්වය යටතේ බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයට විපක්ෂ වූ කණ්ඩායමක් ද බිහිවිය.මේ සමඟ ආචාර්ය එන්.එම් පෙරේරාගේ නායකත්වය පිළිගත් කණ්ඩායම හා ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ නායකත්වය පිලිගත් කණ්ඩායම් දෙකම තමා අමරණිය ල.ස.ස.ප ලෙස හඳූන්වාගන්නට විය.මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ, ලංකාවේ ප්‍රධානතම වාමාංශික පක්ෂය නැවත දෙකඩ වී ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ නායකත්වය යටතේ, 1945 දී බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය(BSP) බිහි වීමයි. මෙම නිසා 1947 මැතිවරණයට ට්‍රොට්ස්කිවාදී පිල් දෙකක් ලෙස මෙම දෙපිරිස වෙන වෙනම තරඟ කරන්නට විය. මෙම මැතිවරණයට ආසන 10 සඳහා ඉදිරිපත් වී ඉන් ආසන 05 ක් දිනාගැනීමට බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය සමත් විය. එහිදී,

ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා

ජේ කොතලාවල

හෙන්රි පීරිස්

විලියම් ද සිල්වා

සී.ගුණවර්ධන

විසින් මෙලෙස තරඟකර ජයගන්නට විය.ලංකා සමසමාජ පක්ෂය ද ආසන 10 දිනාගැනීමට සමත් විය.මේ අනුව පැහැදිලි වන තත්ත්වය නම්, ආරම්භ කොට වසර දෙකක්වත් ගත නොවූවද මෙම පක්ෂය ජනතාවගේ විශ්වාසය දිනාගෙන ගෙන තිබුණු බවයි.

කරුණු කිහිපයක් මත ල.ස.ස.ප යෙන් වෙන්ව පක්ෂයක් ලෙස ක්‍රියාකලත් මෙම පක්ෂ ද්විත්වයම ව්‍යුහය හා භාවිතය තුළ වෙන්කොට හඳූනාගැනීමට නොහැකි තරම් සමානතා පෙන්වන්නට විය. මෙම නිසා 1952 වන විට බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය නැවත ල.ස.ස.ප හා එක්ව තරඟ කරන්නට විය. ඒ නව ලංකා සමසමාජ පක්ෂය ලෙසිණි. එහෙත් එම මැතිවරණයෙන් බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයේ නායකයා වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ට ද අත්වූයේ පරාජය යි.එසේම බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය ද එතැනින් අවසන් විය. මෙම පක්ෂයේ සාමාජිකයන් නැවත ල.ස.ස.ප යේ සාමාජිකයන් බවට පත් විය.

මේ අනුව පෙනීයන තත්ත්වය නම්, පිරිසිදු මාක්ස්වාදය ආරක්ෂාකිරීම,අධිරාජ්‍යවාදයට විරෝධය දැකිවීම හා ල.ස.ස.පයේ වැරදි ගමන් මාර්ගයට විරෝධය පෑම වැනි පරමාර්ථ ඉටු කරගැනීමට බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂ බිහිවූ වගයි.එසේම මෙරට පිරිසිඳූ ට්‍රොට්ස්කිවාදීන්ගේ ප්‍රධාන බලකඳවුර බවට ල.ස.ස.ප, නැවත කැඳවාගෙන ඒම සදහා සද්භාවයෙන් කල කිර්යාමාර්ගය බව පිළිගැනීම සාධාරණ වේ. පසු කාලීන නායකයන් මෙවන් සාදනීය කිර්යාවලට නොපෙළඹීම ද මෙරට ප්‍රථම දේශපාලන පක්ෂය වූ ල.ස.ස.ප ට වර්තමාන තත්ත්වය දක්වා ඇඳවැටීමට හේතුවක් වූ බව පෙන්වා දිය හැකි ය .

 

Malcome Dep Weerasinghe B.A.History (Sp) USJ

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

උපුටා ගැනීම් සියල්ල කතෘගේ අනුදැනුම මත පමණි.


Post a Comment

2 Comments