ත්‍රෛභාශික ශිලා ලිපිය (Galle Trilingual Inscription)

 


ශ්‍රි ලංකාවෙන් හමුවන පැරණි බ්‍රාහ්මීය අක්ෂර හෝ සිංහල අක්ෂර නොමැති ශිලා ලේඛන අතර ගාල්ලෙන් හමු වූ මෙම ත්‍රෛභාශික ශිලා ලිපිය ඉතා වැදගත් තැනක් ගනී. 1911 දී ගාල්ල දිස්ත්‍රික් ඉංජිනේරුවරයා ලෙස කටයුතු කල S. H. Thomlin මහතා විසින් මෙය ශිලා ලේඛනයක් ලෙස හඳුනාගන්නා ලදී. මෙම ශිලා ලේඛනය මෙරටදී නිර්මාණය කරන ලද්දක් නොවීමද කැපී පෙනෙන කරුණක් ලෙස පෙන්වා දීමට පුළුවන.

මෙම ශිලා ලිපියේ ක්‍රි.ව. 1409 පෙබරවාරි 15 ලෙස දිනය සඳහන් වී තිබීම නිසා මෙරට තත්කාලිනව පැවති දේශපාලන, සමාජ හා ආර්ථික තත්ත්වයන් සමඟ සමගාමී ලෙස මෙම ශිලා ලිපිය මනාව විග්‍රහ කරගැනීමට හැකිවේ. මේ අනුව සමකාලීන මෙරට පාලනය දෙස බලන කල පෙනී යන්නේ ඉතා ව්‍යාකූල ස්භාවයක් ගත් බවයි. ගම්පොළ රාජධානියේ පාලකයා හා රයිගම පාලකයා අතර සිය බලය වෙනුවෙන් සටනක් නිර්මාණය වී තිබුණි. උතුරේ පාලකයා වූ ආර්ය චක්‍රවර්තී සිය බලය බටහිර මුහුදු වෙරළ දක්වාම ව්‍යාප්ත කර තිබිණි. එසේම නිශ්ශංක අලගක්කෝනාර විසින් කෝට්ටේ නම් වූ සැලසුම්ගත රාජධානියක් නිර්මාණය කිරීමේ කටයුත්තේ නිරත විය. මෙවන් ව්‍යාකූල තත්ත්වයක් මත රයිගම පාලකයාවූ "වීර අලකේෂ්වර" විසින් ඉන්දියාවේද සහය ඇතිව ගම්පොළ පාලකයා වූ වීරබාහු පරදවා රයිගම මූලික කොටගෙන සිය පාලනය ගෙන යන්නට විය.   

වංශකතා වලට අනුව පාලනයේ දක්ෂයෙක් නොවූ වීර අලකේෂ්වරගේ සමයේදී චීන අධිරාජයා වූ "යුං ලෝ" (Yongle) විසින් සශ්‍රික වෙනත් රාජ්‍යයන් තිබේ දැයි සෙවීම සඳහා සිය "චෙං හෝ" (Cheng Ho) නම් නාවික සෙන්පතිවරයෙක් ප්‍රධාන කොටගත් නාවික පිරිසක් එවා ඇත. (Ming treasure voyages) 1405 දී ලංකාවට පැමිණි මෙම පිරිස වීර අලකේෂ්වර විසින් පිලිනොලත් නිසා 1411 දී නැවත පැමිණ වීර අලකේෂ්වර පරාජය කොට ත්‍රෛභාශික ශිලා ලිපිය ද ගාල්ලේ පිහිටුවා, වීර අලකේෂ්වරව සිර කරුවෙක් ලෙස චීනයට රැගෙන ගිය බවත් ඉන් පසු චීන අධිරාජයගේ මෙරට නියෝජිතයා ලෙස "පරාක්‍රම ඈපා" නම් අයෙක් පාලකයා ලෙස පත් කල බවත් තවදුරටත් සදහන් වේ.එහෙත් සමකාලීන ලියවුණු තවත් මූලාශ්‍රයක් වන "අස්ගිරි තල්පතට" අනුව වීර අලකේෂ්වරගේ පාලනයට අකමැති වූ සේනාධිලංකාර සෙනෙවි ඇතුළු පිරිසක් සේනාධිලංකාරගේ මුණුපුරෙකු වන "පරාක්‍රම ඈපා" ගම්පොළ රජකර වූ බවක් සඳහන් කර තිබේ.

මෙම ත්‍රෛභාශික ශිලා ලිපිය පිළිබඳව විග්‍රහ කරන විට පෙනී යන්නේ, මෙය ලංකාවේ ස්ථාපිත කිරීම සඳහාම 1409 දී චීනයේ "නැනිජින්හි" නිර්මාණය කොට ඇති බවයි. චීන, දෙමළ හා පර්සියන් (අරාබි) යන භාෂා තුනකින් බොහෝදුරට එක හා සමාන ‌ඉතිහාසගත තොරතුරක් මෙහි සඳහන් කොට තිබෙයි. මෙහි චීන පාඨයෙහි සඳහන්ව ඇත්තේ, බුදුන්ගේ ආශිර්වාදය පතා ශ්‍රි පාදයට කරනු ලැබූ පූජාවක් සම්බන්ධයෙන් වන අතර ද්‍රවිඩ පාඨයෙන් සඳහන් වන්නේ, වෙළඳාම මත ගොඩනැගුණු සාමකාමී ලෝකයක් සඳහා විෂ්ණු නම් වූ හින්දු දෙවිවරුන්ගේ ආශිර්වාදය පතා කරන ලද පූජා වස්තු ලබා දීමක් පිලිබඳවයි. එසේම අරාබි පාඨයෙන් අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය පතා කරන ලද පූජා භාණ්ඩ ලබා දීමක් පිලිබඳව මෙම ශිලා ලේඛනයෙහි සඳහන්ව ඇත.

මේ අනුව පෙනී යන්නේ, යුං ලෝ අධිරාජයා විසින් සශ්‍රික වෙනත් රාජ්‍යයන් සොයා යෑමේ චාරිකාවේදී ලංකාවට පැමිණිම මෙම ත්‍රෛභාශික ශිලා ලිපිය මඟින් තවදුරටත් තහවුරු වන බවයි.මීට අමතරව පැලේම්බෑංහිදී(Palembang) චෙන් සූයිගේ මුහුදු කොල්ලකරුවන්ගේ බලඇණිය විනාශ කිරීම, උතුරු සුමාත්‍රා හි සෙමුදෙර සෙකන්දාර්ගේ හමුදාවන් පරාජය කිරීම ද මෙම චාරිකාවන් වලදී සිදු කරන ලද තවත් අක්‍රමණකාරී අවස්ථා ලෙස පෙන්වා දීමට පුළුවන. මෙවන් අක්‍රමණයන් එම රටවල ධනය සූරා කෑමෙන් නොනවතුනු අතර එම රටවල් යුං ලෝ අධිරාජයාගේ පාලනයට නතු කරගැනීමද සිදු වී ඇත.ඊට කදිම නිදසුන වන්නේ, චීන අධිරාජයගේ මෙරට නියෝජිතයා ලෙස පරාක්‍රම ඇපා නම් අයෙක් පාලකයා ලෙස පත් කල බවට මූලාශ්‍ර සාක්ෂි දැරීමයි.

මේ අනුව ගම්‍ය වන කරුණ නම් මෙම ත්‍රෛභාශික ශිලා ලේඛනය වැදගත් වන්නේ එය භාෂා ත්‍රිත්වයකින් ලියා තිබූ ශිලා ලේඛනයක් වීීම පමණක්ම නොව චීන අධිරාජ්‍ය බලය දකුණු, ගිණිකොන දිග ආසියාවේ හා නැගෙනහිර අප්‍රිකානු භූමිය දක්වා විහිදුවා හැරීමේ ‌ ඓතිහාසික කතාන්දරය අභිලේඛනමය මූලාශ්‍රයක් හරහා සනාථ කිරීමක් ලෙසයි.

වර්තමානය වන විට මෙම ත්‍රෛභාශික ශිලා ලේඛනය කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

 

Malcome Dep Weerasinghe B.A.History (Sp) USJ

 

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

උපුටා ගැනීම් සියල්ල කතෘගේ අනුදැනුම මත පමණි.

 


Post a Comment

1 Comments